රාජිත අත්අඩංගුවට ගන්න කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

රාජිත අත්අඩංගුවට ගන්න කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) වරෙන්තු නිකුත් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා කොළඹ මහාධිකරණ හමුවේ තවත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබේ. එහි තීන්දුව ලබන සැප්තැම්බර් 01 දා නිකුත් කිරීමට නියමිතය.

එවැනි පසුබිමක මෙසේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.

නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.

“ස්වාමීනී කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත් කොට පිරිසිදු කර ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමක් 2012 මැයි මස 19 දා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ඉවත් කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 ක් ධීවර වරාය නීතිගත සංස්ථාවට ගෙවීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. මෙම යෝජනාව අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර එයට මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවක් හරහා අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් ලබා නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කරන හිටපු අමාත්‍යවරයාගේ නියෝගයකට අනුවයි ධීවර වරාය නීතිගත සංස්ථාව එය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එසේම මෙය වැලි සම්බන්ධ කටයුත්තක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුයි. එහෙත් එවැනි වාර්තාවක් ලබා ගෙන නැහැ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන නැහැ.

මෙලෙස අනීතික ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘතිය සැකකාර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කර තිබෙන්නේ. පසුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගමට වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඔවුන්ට එම කටයුතු කරගෙන යෑමට ධීවර වරාය සංස්ථාව සතුව තිබූ ‘වැලිගොව්වා’ නමැති නෞකාවත් ලබාදීමට සිදු වුණා. මෙම කරුණට අදාළව අදාළ කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නඩු පැවරීම සිද්ධ කරලා තිබෙන්නේ වැලිගොව්වා නෞකාවට සිදු වූ හානිය වෙනුවෙන් පමණයි. එම නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙන්නේ රුපියල් මිලියන 15ක මුදලක්. එහෙත් එම නෞකාවට සිදු වූ සැබෑ හානිය රුපියල් මිලියන 26ක් පමණ වෙනවා. සමස්තයක් වශයෙන් මේ ව්‍යාපෘතිය තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුවෙලා තිබෙනවා. දැන් ඔහු ඉන්න තැනක් සෙයා ගන්නත් නෑ.”

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට වරෙන්තු නිකුත් කළේය.

Search