විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති අවස්ථාවේදීය.
උන් වහන්සේ එහිදී මෙසේද පැවසූහ.
‘දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකාරකම් නිසා කලකිරීම් ඒ කලකිරීම කොච්චරද කියනවා නම් ඔබතුමියලට විශාල බලයකින් බලයට පත්වෙන්න අවස්ථාව ලැබුණේ.
විශ්වාසයක් ඇතිව තමයි අපි ඔබතුමියලව මේ රටේ ජනතාව බලයට පත් කරගත්තෙ. බලයට පත් කරගෙන දැන් යම් කාලයක් ගත වෙනවා ජනතාව විශ්වාසය පළුදු වෙමින් පවතිනවා මේ රජය ගැන.
ජනතාවට දීපු පොරොන්දු ජනතාවගේ බලාපොරොත්තු ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕන. හැබැයි මේ විදිහට පහළට යන්න බෑ. ඔවුනොවුන් අතර විශ්වාසය තහවුරු වෙන විදිහට මේ රජයේ ඉදිරියට යන්න ඕන කියන එක අපි කතා කරන්න කැමතියි.
මේක හරියන්නේ නෑ කියන වචනය එළියට නොයන විදිහට රජයේ පවත්වා ගැනීම වගකිවයුත්තන්ගේ ලක්ෂණයක්.
දෙවෙනි කාරණය රජයක් වුනහම නීති ගරුක වෙන්න ඕනේ. නීතියෙන් පිට පැනලා කරන ක්‍රියාදාමයන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා.
ඒ නිසා මම කියන්න කැමතියි කන්ටේනර තුන්සිය ගානක් නීති විරෝධීව එළියට ආවා කියලා කතා කරනවා. ඒක නීත්‍යනුකූලයි හැබැයි මේක නීත්‍යානුකූලයි කියන එක පැහැදිලි කරන්න ඕන.
රටේ ගිවිසුම් ඇති කරලා තියෙනවා පහුගිය කාලේ ඒ ගිවිසුම් නීත්‍යානුකූලයි මෙන්න මේවා ගිවිසුම් කියලා රටට එළි කරන්නට ඕනේ.
ඒ වගේම රජයේ කරන පත්වීම් ඒ පත්වීම් තුළ දේශපාලනය තියෙන්නට හොඳ නෑ.
තුන්වෙනි කාරණය තමයි තමන්ගේ අදහසින්ම පාලනය කරන්න යන්න එපා. අනිත් අය කියන හොඳ නරක විවේචනය අනිත් අයගේ අදහස් අහලා ඒවටත් කන්දෙන්න ඕන.
අපිම හරි කියන තීරණය ගියොත් වැඩිකල් යන්න බෑ හුඟක් ඉක්මනින්ම වැටෙනවා.
තව අවුරුදු හතරකට වැඩි කාලයක් අපි බලන් ඉන්නවා ඒ වැඩේ හරියටම කරන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා’