කප්පම් ලබාගැනීම සඳහා 2008 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීමට අදාල චුදිතයන්ට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යාම වළකාලමින් ජනාධිපති කොමිසමක් පත්කර, ඒකපාර්ශ්විකව නඩු ඇසූ බව පැහැර ගෙන ගිය අයෙකුගේ මවක චෝදනා කරයි.
අතුරුදහන් වී සිටින ජමාල්ඩීන් ඩිලාන් නම් තරුණයාගේ මව වන ජෙරිෆා වීරසේකර කියා සිටින්නේ මේ නිසා නීතිය ගැන පොඩි හෝ විශ්වාසයක් නැති බවත් කිසිම ළමයෙක්ට මෙවැනි අසාධාරණයක් නොවිය යුතු බවත් ය.
යූ ටියුබ් නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා ය.
කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදහන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනිදා සිටය.
ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදන්ව සිටින සෙසු තරුණ පිරිස අතර වෙති.
2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව, නාවික හමුදා නිලධාරීන් ඇතුළු චුදිතයින් පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.