මැතිව් ප්‍රනාන්දු සමුගනී !

88-89 භීෂණයෙන් පසුව දේශපාලනික වශයෙන් හුදෙකලාව සිටි ජනතා විමුක්ති පෙරමුණ 1994 මහ මැතිවරණයේදී යළි ප්‍රසිද්ධ දේශපාලනය ගෙන ඒමට විශාල කාර්ය භාරයක් ඉටුකල මැතිව් ප්‍රනාන්දු හදිසි

හෘදයාබාදයක් හේතුවෙන් අද (04) උදැසන ජිවිතයෙන් සමුගෙන ඇත. 

මියගෙන විට ඔහු 52 වියෙහි පසුවිය.

ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් යුතු 'ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ' සමග 1994 දී ඇතිකර ගත් එකඟත්වය මත එම පක්ෂයේ නම 'ජාතිය ගලවාගැනීමේ පෙරමුණ' ලෙස සංශෝධනය කරමින්,  'මල් බඳුන' ලාංජනය යටතේ ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී,  ජාතිය ගලවාගැනීමේ පෙරමුණේ ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සමග සියලු නිල ගනුදෙනු සිදුකරනු ලැබුවේ මැතිව් ප්‍රනාන්දුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා පිඨයේ ශිෂ්‍යයකුව සිටියදී දේශපාලන ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයකුව සිටි මැතිව් එසේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට මැදිහත්වූයේ සිය අධ්‍යාපන කටයුතු ද පසෙකලමිනි.

94 මහ මැතිවරණයෙන් පසුව හම්බන්තොට පැවති ජවිපෙ දෙවන සම්මේලනයේදී ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරීපත්විය.

මැතිව් ප්‍රනාන්දුගේ දේහය මහනුවර ගන්නොරුව නිවසේ තැම්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසති.

(theleader.lk)

 

Search