සීගිරිය අවට ගම්මානවල ජීවත්වන ජනයාගේ දුක සැප විමසන්න සර් උදේ පාන්දරම පිටත් වුණා...
හෙලිකොප්ටර් එක සීගිරිය පැත්තේ හිස් බිමකට පහත් කරන කොටම ටයි දාගත්තු මහත්තුරු ගොඩක් දුවගෙන ගිහින් සර්ව වැදල පිළිගත්ත. මැති ඇමතිවරුත් ගිහින් හිටිය.
ඊට පස්සේ සර් දාඩිය දාගෙන ගම්මානවල ඇවිද්දා. මිනිස්සු තම තමන්ගේ බැරි අමාරුකම් සර්ට කිව්වා. සර් ඒ හැම ප්‍රශ්නයක් දුරකථන ඔස්සේ එක එක නිලධාරීන්ට යොමු කළා.
අන්තිමට සිගිරි පර්වතය ආසන්නයේම තිබුණු ගමකට ගියා. රැස්ව සිටි පිරිස ගෙන් සර් මෙහෙම ඇහැව්වා
"දැන් මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න"
"සර් .....සර් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේම නෑ. අලි ඇවිල්ල වගාව ඔක්කෝම වනසනවා. "
"ආ හරි හරි මම සිල්වා මහත්තයට කියන්නම් අලි වැට ගහල දෙන්න කියල ඕක මොකක්ද"
"අනේ සර් වගා කරල තේරුමක් නෑ. එළවළුවලට මිලක් නෑ. ඒ නිසා අපිට අලි වැට ඕන නෑ"
"එහෙනම් මොනවද මට කරන්න කියන්නේ?
"සර් මේ නිකං තියෙන කළු ගල කඩල විකුණ ගන්න දෙන්න. අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන් "
"මේ සීගිරි ගල ?"
"ඔව් සර් ..අපිට අවුරුදු ගාණක් කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්. ඕක ඔය නිකං තියෙන්නේ. දැන් කට්ටිය එන්නෙත් නෑ . ඔය දෙබරුන් ට කූඩු හදන්න දීල ඔහේ තියෙනවා."
"ආ...ඉතිං ඔයාලට පුළුවන් නේ මේක කඩල විකුණ ගන්න"
එක්වරම ටයි එක දා ගත්තු මහත්තයෙක් ඉදිරියට ආවා...
"සර්....සර්..සර්... මේ සීගිරිය..මේක මේ ලෝක උරුමයක් නෙ. මේක පුරාවිද්‍යා එකට අයිති.."
"ඒක මට වැඩක් නෑ .මේ අයට ජීවත් වෙන්න විදියක් එපැයි. කෝ මෙතන ඉන්නවද පුරාවිද්‍යා එකේ කව්රු හරි"
"ඔව් සර් මම පුරාවිද්‍යා එකේ තමයි" නිලධාරියා බැගෑපත්ව තෙපලේ ය.
"මේ අයට බාධා කරන්න එපා මේක කඩා ගන්න අරින්න. "
රැස්ව සිටි ජනතාව ඔල්වරසන් දෙයි.
"ජයවේවා සර් .ඔබ තුමා බුදුන් දැක නිවන් දකින්න ඕන"
නැවත පුරාවිද්‍යා නිලධාරීයා..
"සර්....සර්..... එතකොට පුරාවිද්‍යා පනත.."
"මම දැන් සැරයක් කිව්වා නේ ...මොන පනත්ද ? ඒව වැඩක් නෑ. මේක මගේ නියෝගයක් "
"හරි සර් ...හරි සර් එහෙම කරන්නම් "
හුරේ....හුරේ....."ජයවේවා ජයවේවා සර්ට බුදුබව ලැබේවා..."
මේ අතරතුර සෙනග අතරින් දෑත් එකතුකර ගත් තට්ටයකු ඉදිරියට පැමිණේ..
"සර් ... ඔබතුමා දෙවි කෙනෙක්. අද ඔබතුමා අපේ ගමට ආවා.අපි විදින දුක් ඔබතුමා දෑහින් දැක්කා .ඔබතුමාට මේ රට සංවර්ධනය කරන්න මේ පුරාවිද්‍යා කාරයෝ කවදාවත් ඉඩ දෙන්නේ නෑ. පුරාවිද්‍යා පුරාවිද්‍යා කිය කියා. අපේ ගම අවුරුදු පන්සියයක් පරණයි. ..........."
"හිහි....හිහි....හිහි......හිහ්..." සර් යන්න සූදානම් වුණා.
ජනතාව නැවත ඔල්වරසන් දෙයි. "අපේ දෙයියට දෙවියන්ගේ පිහිටයි. ඔබතුමා බුදුවේවා..."
(ඊයේ රෑ මා දුටු සිහිනය)
පෝද්දල ජයන්ත