රනිල්ගේ දේශපාලන ඉදිරිය පිලිබදව පූර් වේක්ෂණයක් සිදු කිරීම අපහසු කරුනකි

රනිල්ගේ දේශපාලන ඉදිරිය පිලිබදව  පූර් වේක්ෂණයක් සිදු කිරීම අපහසු කරුනකි

රනිල් වික්‍රමසිංහ ජන්ම දිනය පසුබිමේ සිට වික්‍රමසිංහ මහතාගේ වසර 45ක දේශපාලන භූමිකාව සහ ඔහුගේ නායකත්වයේ ප්‍රායෝගිකභාවය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක් කිරීම කාලෝචිත වී තිබේ.



රනිල්ගේ දේශපාලනය සැම විටම බැදී තිබෙන්නේ ලංකාව රටක් වශයෙන් අර්බුදයකට මුහුන දීම හෝ නොවීම මතය.

එම නිසා රනිල්ගේ දේශපාලන ඉදිරිය පිලිබදව පුර්වේක්ෂනයක් සිදු කිරීම අපහසු කරුනකි.

එජාප සභාපතිවරයා කියන්නේ 2028 දක්වා පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර් ණ  ක්‍රියාවලිය මෙහෙයවීමට ඔහුගේ අත්දැකීම් අත්‍යවශ්‍ය වන බවය.


ඔහුගේ දැක්ම හා අත්දැකීම වැදගත් වන්නේ රනිල් ගොඩනගන දේශපාලනය මත මිස ඔහුගේ පුද්ගලාබද්ධ හැකියාව මත නොවේ.


රනිල් දැක්මක් සහිත දේශපාලඤයෙකි

නමුත් එහි ප්‍රායෝගිකත්වය සලකා බැලිය යුතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ඉදිරිපත් කොට ඇති 2048 වසරේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ගොඩනැගීමේ ඉලක්කය සහ ජනාධිපති රනිල් සහ ජනාධිපති අනුරගේ පාලන කාලය තුල සිදුවී තිබෙන ආර්ථික කලමනාකරන ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව විශ්ලේෂනයක යෙදීම තුලිනි.

රනිල් ආර්ථිකය පාලනය කරනු ලැබුයේ නව ලිබරල් වාදී රාමුව මත පදනම්වු  නිදහස් වෙලදපල සහ පුද්ගලීකරණය මත පදනම් වය.

රනිල් IMF වැඩසටහනේ නිර්මාතෘ සහ iMF කොන්දේසි දැඩි ලෙස අනුගමනය කරන්නා විය.

තම ආර්ථික කලමනාකරය තුලින් 2024 දී 5% ක වර්ධනයක් වාර්තා කළේය.

උද්ධමනය 70% සිට 25% දක්වා අඩු කළේය.


රනිල්ගෙන් පාලනය අතටගත් අනුර බලය ගැනීමට පෙර IMFප්‍රවිශ්ඨය විවේචනය කළද, IMF වැඩසටහන ප්‍රායෝගිකව රට තුල ඉදිරියට ගෙනයන්නා බවට පත්ව තිබේ.

එසේම අනුරගේ පාලනය 2025 දී 5% ක වර්ධනයක් පවත්වා ගෙන ගොස් තිබේ.

ඉන්දන අරබුදය පැමිනීමට පෙර අනුර 2026 පෙබරවාරි වන විට 1.6% ක් වැනි ඉතා අඩු මට්ටමකට රැගෙනවිත් තිබුනි.

ඒ අනුව බලන කල රනිල් සහ අනුර රටේ ආර්ථික කලමනාකරනය තුල සිටින්නේ කරට කර සමානවය.

නමුත් රනිල්, අනුරගෙන් වෙනස් වන්නේ රට ගොඩනැගීමේ දීර්ඝ කාලීන ආර්ථික දැක්ම පදනම් කොට ගෙනය.

දැනට පවතින තොරතුරු වලට අනුව අනුර පාලනය යනු අද දවසේ පවතින ආර්ථික අභියෝග සදහා ක්‍රියාකරන fire fighter කෙනෙකු ලෙස මිස රට දීර්ඝ කාලීනව ඔසවා තැබීමට තරම්වු දැක්මක් ප්‍රකට කරන්නේ නැත.

ඇතැම් විට එයට හේතුව වී ඇත්තේ තමන්ට ආවේනිකවු සමාජවාදී දෟෂ්ඨියත් රටේ පාලකයා ලෙස රට ඉදිරියට ගෙනයන්නට වී තිබෙන නව ලිබරල්වාදී දෟෂ්ඨිය අතර පවතින විරුද්ධාභාෂය බව පෙනෙන්නට තිබේ.

මෙම තත්වයට සමාන්තරව ගත් කල රනිල් විසින් මේ වන විටත් ඉදිරිපත් කොට තිබෙන ඔහුගේ 2048 දැක්මට අනුව රටේ අනාගතය තීරනාත්මකව හැඩගස්වන අදහස් ගොන්නක් පවතින බව කිව යුතුව තිබේ.

එම අදහස් කවදා හෝ රට තුල ක්‍රියාත්මක කල හැකි වන්නේ නම් එය නිසැකවම රටේ ස්ථාවරත්වයට හේතු වනු නියතය.
 
රනිල්ට ඇත්තේ ඉදිරිගාමී අදහස් ගොන්නකි. ඉන් සමහරක් අපට මේසේ පෙලගැස්විය හැකිව තිබේ. ඒවා සැබවින්ම වැදගත් වන්නේ ඒවා හුදු අදහස් ගොන්නක් නොව මුලෝපායික මැදිහත් වීම් වන නිසාය.


1. ඉන්දු - ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීම (Power Grid Interconnection).

මෙම ව්‍යාපෘතියේ වැදගත්ම අංගය වන්නේ මුහුදු යටින් දිවෙන කේබල් පද්ධතියක් හරහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීමයි.
එම ව්‍යාපෟතියේ අරමුන වන්නේ ශ්‍රී ලංකාවේ නිපදවන අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය (සූර්ය හා සුළං) ඉන්දියාවට විකිණීම සහ අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාවෙන් අඩු මුදලට විදුලිය ලබා ගැනීමයි.


2. ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් (Energy Hub) ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

2.1 ඒ යටතේ කලාපීය සැපයුම් දාමය (Supply Chain) ගෙඩනංවමින් දකුණු ආසියාවේ නිෂ්පාදන ජාලයන්හි ප්‍රධාන සැපයුම් සහ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් සංවර්ධනය කිරීම.

2.2 ත්‍රිකුණාමලයට තෙල් නල පද්ධතිය සහ ටැංකි සංකීර්ණය වැඩි දියුනු කරමින් එය දකුණු ආසියාවේ ප්‍රධාන තෙල් ගබඩා කිරීමේ සහ නැවත බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක

2.3 හරිත හයිඩ්‍රජන් (Green Hydrogen) ව්‍යාපෘතිය
මගින් යෝජනා කොට තිබුනේ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කර අපනයනය කිරීමටය.


3. දකුණු ආසියාව සඳහා වන දැක්ම තුලින් කලාපීය ඒකාබද්ධතාවය ගොඩනැගීම.

3.1 ලංකාවේ ආර්ථික වර්ධනය ඉන්දියාවේ වර්ධනය සමඟ බද්ධ විය යුතු බවට යෝජනා කරමින් ඒ යටතේ දෙරට අතර ගොඩබිම් පාලමක් (Connectivity), විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීම සහ තෙල් නල පද්ධති ඉදිකිරීම ඔහුගේ දැක්මෙහි අන්තර්ගතය වින.

3.2 ඒ තුල දකුණු ආසියාවේ නිෂ්පාදන ජාලයන්හි ප්‍රධාන සැපයුම් සහ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් සංවර්ධනය කිරීම.


4. රනිල්ගේ දැක්ම තුල නියෝජනය කල භූ-දේශපාලනික ප්‍රවිශ්ඨයද රටට වැදගත් පනිවුඩයක් සපයයි.

4.1 ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය "සියල්ලන් සමඟ මිත්‍රශීලී" (Friend of all) වුවද, එය වඩාත් බටහිර ලැදි සහ ඉන්දියාව කෙරෙහි නැඹුරු වූයේය.

4.2 කෙසේ වෙතත්, ඔහුගේ දීර්ඝකාලීන දැක්ම වූයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි. ඔහුට අනුව ලංකාව වැනි කුඩා රටක විදේශ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය විය යුත්තේ රටට ආයෝජන සහ වෙළඳ අවස්ථා ලබා ගැනීම බව  සිය දැක්ම මගින් ප්‍රකට කොට තිබේ.

4.3 එසේම බලවත් රටවල් සමග මධ්‍යස්ථ භූමිකාවක නිරතවීම තුල ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන බලවතුන් අතර තුලනයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ආර්ථික වාසි රැක ගැනීමේ වැදගත්කම ඔහුගේ දැක්ම මගින් අවධාරනය කොට තිබේ.

4.4 ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යස්ථ, නිදහස් නාවික ගමන් පථයක් සහිත මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම ඔහුගේ දැක්ම වු අතර ඔහු නිරන්තරයෙන් අවධාරණය කොට තිබුනේ ඉන්දියන් සාගරය මහා බලවතුන්ගේ ගැටුම්කාරී කලාපයක් නොවිය යුතු බවයි.

අවාසනාවකට මෙවැනි ඉදිරිගාමී අදහස් සහිත දේශපාලඤයකුගේ අදහස් ක්‍රියාවට නැගීමට තරම්වු දේශපාලන ව්‍යාපෟතියක් ගොඩනැංවීමට රනිල්ට පසුගිය වසර 45 කාලය පුරාවටම නොහැකිවී තිබේ.

මෙම නොහැකියාව රනිල්ගේ දේශපාලන භුමීකාව තුල පෙන්වා තිබෙන බරපතල අඩුපාඩුව බව කිව යුතුව තිබේ.

රනිල්ගේ දැක්ම ඉතා උසස් සහ තාර්කික වුවද, එය ක්‍රියාත්මක කිරීම සදහා වන දේශපාලන ව්‍යාපෟතියක් ගොඩනැංවීමට ඔහු දිගින් දිගටම අපොහොසත්වී තිබේ.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ග්‍රාමීය ජනතාවගෙන් ඈත් වීම හා උගත් මධ්‍යම පංතියේ ආකර්ෂනය ලබා ගැනීමට නොහැකිවීමය.

ඔහුගේ දැක්ම බොහෝ දුරට නාගරික සහ ප්‍රභූ පන්තියට පමණක් තේරුම් ගත හැකි එකක් වීම ඊට බලපාන ප්‍රධාන හේතුව වී තිබේ.

එම නිසා රනිල්ගේ දේශපාලන පිලිගැනීම වරෙක ස්ථාවර වෙන තවත් විටෙක කඩා වැටෙන දේශපාලනයක් බවට පත්ව තිබේ.

එම නිසා ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ස්ථාවර පාර්ලිමේන්තු බලයක් හෝ මහජන වරමක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී ඇති අතර අනාගතයේදීද

එය එසේම වන බව අද ඔහු නායකත්වය දෙන එජාපය මෙන්ම විවිධ දේශපාලන සංධාන දෙස විමසිල්ලෙන් නිරීක්ෂනය කරන කල තහවුරු වන කරුනක් වන්නේය.

ප්‍රේමදාස සහ දිසානායක යන නායකයන්ගේ අභාවයෙන් පසු බිඳ වැටුණු පක්ෂය ඔහු භාර ගත්තේ වුවද දේශපාලන පක්ෂයක් ලෙස රනිල්ගේ නායකත්වය තුල සිදුවී ඇත්තේ එය දිනෙන් දින අභාවයට යාමය.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අතීතයේ ජේ ආර්ගේ දේශපාලන ව්‍යාපෟතිය කරට ගෙන දුවන්නට සිටි ජනකාන්තවාදී දෙවන්නකු හෝ තුන්වැන්නකු රනිල්ට නොසිටීමය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ 45 වසරක නායකත්වයේ දේශපාලනය මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. 
එහි පැවැත්ම හෝ නොපැවැත්ම රදා පවතින්නේ ඔහු ගොඩනගන දේශපාලන ව්‍යාපෟතිය මතය.

එක්කෝ ඔහු තමන්ගේ දුර දක්නා දැක්ම යථාර්තයක් කිරීම සදහා තමන්ගේම දේශපාලන ව්‍යාපෟතිය බිංදුවේ සිට ආරම්බ කලයුතුව තිබේ.

එසේ නොමැති නම් තමන්ගේ දැක්ම ඉදිරියට ගෙනයා හැකි නායකයකුට තම දේශපාලන ව්‍යාපෟතිය භාරදිය යුතුව තිබේ.

නමුත් එසේ භාරදිය යුත්තේ තම දැක්මට සරිලන අනුප්‍රාප්තිකයකුට මිස විහිළු කරුවකුට නොවේ.

රනිල්ගේ ජන්ම දිනයට එක් කරන සුබ පැතුම වන්නේ මෙයයි.


shiral lakthilaka(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්... 
 
theleader.lk 

 

Search