ආදරයේ නාමයෙන් යන්න.....

ආදරයේ නාමයෙන් යන්න.....

2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ ගෝඨා නැවේ නගින්නේ රනිල්ට ජනාධිපතිකම බාරදීලා. ඒක වෙන්නේ හුදෙක් ආවට ගියාට නෙවෙයි. ඒක රාජපක්ෂ පවුල ඒ වෙලාවේ ගත්ත ඉතාම වැදගත් වගේම තීරණාත්මක දේශපාලන තීරණයක්.

ලංකාවේ අනාගතය වගේම රාජපක්ෂවරුන්ගේ අනාගතයත් එතැනදී තීරණය වෙනවා.

රනිල් ආව ගමන් එයාගේ විදියට ආර්ථිකය මෙහෙයවන්න ගන්නවා. ඉන් වැදගත් තීරණයක් වෙන්නේ IMF එකත් එක්ක ගිවිසුම්ගත වීම. බංකොලොත් උණා කියල නිවේදනය කරපු ඉතාම අවාසිදායක තත්වයක් යටතේ IMF කොන්දේසි එක්ක ලංකාව වැඩකරන්න ගන්නවා.

 

salarycommission

 

ඊට පස්සේ ලංකාවේ වෘත්තීයවේදීන්ට අතිශයින් අමාරු කොන්දේසි එක්ක වැඩකරන්න වෙනවා. විශේෂයෙන් එයාල උඩට දාපු අන්කවරදාවත් නොවූ විරූ බදු එක්ක ලංකාවේ වෛද්‍යවරු, විනිසුරුවරු, බැංකු සේවකයින්, ඉංජිනේරු වෘත්තිකයින් සහ විශ්වවිද්‍යාල ගුරුවරු වගේ වෘත්තීන් ගණනාවක් සුවිශේෂ සාංදෘෂ්ටික පැවැත්මේ අරගලයකට තල්ලු කරනවා.  ඒ වෘත්තියකින් ගණනාවකගේ මාසික පඩියෙන් විශාල බදු මුදලක් අයකරන්න ගන්නවා. තැන්පත් වලින් කපන්න ගන්නවා. පරිප්පු ඇටේ ඉඳල කොපි පොත දක්වා බදු පිරෙන්න ගන්නවා.

 

අතිශයින්ම අසාධාරණ බද්දක් මිනිස්සු මත බලෙන් පටවනවා. කිසිම වෘත්තීය සමිතියක් කිව්ව දෙයක් රනිල් ඇහුවේ නැහැ. ඒ වෙලාවේ වැඩකළේ ඒකාධිපති මෝඩ් එක ඔන් කරගෙන.

කරන්න දෙයක් නැතුව මිනිස්සු මේක දාල ගියා. යන අයට යන්න කිව්වා. ගොඩක් අය දරාගෙන හිටිය. අදටත් එහෙමයි.

මේ වෙලාවේ රටේ හිටපු මිනිස්සුන්ගෙන් මේ ගත්ත බද්ද සාධාරණ නැහැ කියල හැමෝම දැනගෙන හිටිය. ඒ නිසා ඒ ලේ සහ දහඩිය වලට රට වෙනුවෙන් ගත්තම විශේෂ වැදගත්කමක් තිබ්බ. විශේෂ සදාචාර ප්‍රශ්නයක් තිබ්බ. විශේෂයන් වියදම්කිරීම කියන තැනට එනකොට මේ විශේෂ මොහොතේ හැම සතයක් ගැනම සුවිශේෂ සදාචාර වගවීමක් තිබ්බ. ඒක අදටත් තියනවා.

 



ranil londan260214

 

මේ නිසයි  වුල්වහැම්ප්ටන් එකෙන් හරි මොකෙන් හරි ලෝකේ විශ්ව විද්‍යාලයකින් ආරාධනාවක් ආපු නිසාම නිකම් ෆෝම් වෙන්න ඕනි නැත්තේ. අනික ආවෙත් මෛත්‍රී මැතිණියට. රනිල් විශේෂ ආරාධිත අමුත්තාත් නෙවෙයි. ප්‍රධාන ආරාධිතයත් නෙවෙයි. මහලොකු කතාවකුත් නැහැ (ලන්ච් එකේ කතාවක් තිබ්බ කියල කියනවා හරින්). රට නියෝජනය වෙනවා කියල ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා රනිල් ලන්ඩන් ට්‍රාන්සිට් එකේ ඉඳන් හතිදාගෙන ලක්ෂ 116 වියදම් කරගෙන යන්න ඕනි නැහැ. ඇත්තටම ගත්තම ආදරයේ නාමයෙන් රනිල්ට නොයාඉන්න තිබ්බේ...ඔයා යන්න මෛත්‍රී... මම ඉන්නම්... මේ වෙලාවේ රටට අමාරුයි නේ කියල කියන්න තිබ්බ. අන්න ආදරේ...

 

මොකද ඒ ලක්ෂ 116 සාමාන්‍ය කාලයක රටේ තිබ්බ සල්ලියක් නෙවෙයි. ලංකාවේ මධ්‍යම පංතියේ මිනිස්සුන්ගේ මාසික පඩිපතෙන් අතිශයින් අසාධාරණ විදියට ගත්ත සල්ලිවලත් එකතුවක් ඒක. පොඩි මිනිහගේ පරිප්පු ඇටේ බද්දත් එතන තියනවා.

maithree wickremesinghe

 

ඒ නිසා මේ ගැන CID එක ප්‍රශ්න කරනවා නම් මෛත්‍රී මැතිණිය එයාල කියන්නත් කලින් එතෙන්ට ගිහිල්ල තමන්ගේ ආදරයේ නාමයෙන් ඒ ගැන කියන්න ඕනි. පුද්ගලිකව ගත්තම රනිල් වෙනුවෙන් පෙනීසිටින්නත් ඕනි. වෘත්තික අපි වෙනුවෙන් පොදුවේ සාධාරණයක් කරන්නත් ඕනි ඒ සල්ලිවලට. ලෙඩ මොනවා තිබ්බත්, උගත් බුද්ධිමත්කම් මොනවා තිබ්බත් කරන්න දෙයක් නැහැ. කෙණෙහිලිකම් තිබ්බත් කමක් නැහැ. යන්න.

 

අනික ඔය ලෙඩ තියෙද්දී නේද වුල්වහැම්ප්ටන් ගියේ? එයා ටයිම් එකම පැය දහයක් දොළහක් විතර. ඉතිං ෆිෆ්ත් ලේන් එකේ ඉඳන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොඩි දුරයිනේ...

ආදරයේ නාමයෙන් යන්න...

 

Mahesh Hapugoda

 

(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

[theleader.lk] 

Search