දිට්වා ව්‍යසනයට වගකිය යුත්තේ ජීසස් ද අල්ලාද?

දිට්වා ව්‍යසනයට වගකිය යුත්තේ ජීසස් ද අල්ලාද?

මේ වන විට දිට්වා ව්‍යසන සතිය අවසන් වෙමින් පවතී. නැවත ඊසාන දිග මෝසම පිළිබඳ කාලගුණය විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීම් කරමින් පවතී. පසුගිය දිනයේ පාර්ලිමේන්තුව දෙස බැලූ විට නලින්ද ජයතිස්ස  අමාත්‍යවරයා විසින් සිදුකළ දීර්ඝ කතාව තුළ ඔහු පැවසුවේ කාලගුණය විසින් අදාළ වන අනතුරු ඇඟවීම් ලිඛිතව  දන්වා නොතිබූ බවත්, ඊට අදාළව වගකීම ආණ්ඩුවට භාරගත නොහැකි බවත් සහ මෙය කාලගුණයේ නිලධාරීන් විසින් වගකිය යුතු බවත්ය. මේ වන තෙක් විපක්ෂය දිගින් දිගටම කියමින් සිටියේ මෙම ව්‍යසනයට ආණ්ඩුව සෘජුවම වගකිය යුතුය යන්නයි. තවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සහ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් පවසා සිටියේ, ව්‍යසායක දිලිත් ජයවීර විසින් ව්‍යසනය පිළිබඳ අසත්‍ය පුවත් ඔහුගේ මාධ්‍ය නාලිකාව වන දෙරණ හරහා පතුරවමින් දේශපාලනික වාසි ගැනීමට උත්සාහ කරනවා යනුවෙනි(මේ වන විට නිතර දෙවේලේ ඇසෙන වචනයක් වන්නේ දේශපාලනය කරන්න එපා යන්නයි,මෙසේ කිරීමෙන් සිදුවන්නේ දේශපාලනය සඳහා වන සංකේතීය වටිනාකම බිඳවැටීමයි. මෙසේ පවසන එකම දේශපාලකයෙකු හරිහමන් දේශපාලකයකු නොවන්නේය). මීට දිලිත් ජයවීර පිළිතුරු ලෙස පවසා සිටියේ ඊට වගකිවයුත්තේ මම නොව දෙරණේ නිවුස් කියන පුද්ගලයින් බවයි. ඊට පිළිතුරු ලෙස දෙරණේ නිවුස් කියන අය කෙටි චිත්‍රපටියක් තුළින් පෙන්වා සිටියේ ඊට අදාළ වගකීම කාලගුණය සහ ආපදාවේ නිලධාරීන් සතු බවත් අප විසින් කිසිත් නොදන්නාබවයි(මීට අදාළ නොවැම්බර් 27ක් දින ඔවුන් විසින් ආණ්ඩුව අදාළ කර ගනිමින් සිදුකළ ප්‍රකාශ මෙම කෙටි චිත්‍රපටයෙන් හලා තිබිණි). කාලගුණය, ආපදාව, වාරිමාර්ගය, රජයේ අමාත්‍යාංශය යටතේ පවතී. මේවායේ මුල් පුටුවල සිටින්නේ ඡන්දයෙන් බලයට පත් අමාත්‍යවරුන්ය. කාලගුණය හෝ කුමක් හෝ රජයේ දෙපාර්තමේන්තුවක අදාළ ක්‍රියා පටිපාටයන් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැතිනම්, එහි වගකීම ඒවායේ නිලධාරීන්ට පමණක් පැටවේ නම් ඒවායේ මුල් පුටු වලට චන්දයෙන් අමාත්‍යවරුන් පත් කරගන්නේ කුමකටද යන ප්‍රශ්නය ඉතුරු වී ඇත. විපක්ෂය ඇතුළු සියලු දෙනා වගකීම නමැති බෝලය අතින් අතට පාස් කරගනිමින් සිටී නම් මේවාට වගකිවයුත්තන් අප සොයාගත යුත්තේ කෙසේද? මේ වන විට අපට හැරීමට ඇත්තේ ජීසස් සහ අල්ලා දෙවියන් දෙසට පමණි.

මේ සිදුවීමත් සමඟ ලංකාවේ දේශපාලනය තුළ පුනරාවර්තනය වන චක්‍රයක් අපට හඳුනාගත හැක. එය අපට කෙටියෙන් මෙලෙස නම්කර හැක. චන්ද්‍රිකා-සුනාමි, මහින්ද-යුද්ධය, මෛත්‍රී-පාස්කු, ගෝඨාභය-කොරෝනා සහ ආර්ථික අර්බුදය, අනුර-දිට්වා.  දේශපාලනය කිරීමට මේ යුගයේ මිනිසුන් හැරෙන්නේ කුමකටද, දිනීමටද නැත්නම් පැරදීමටද? (හුදෙක් ඡන්ද දිනීම/ පැරදීම අදහස නොවේ). මේ අය ආශා කළේ කුමකටද? දේශපාලකයකු ලෙස චරිතයක් වී ඉතිහාසයට ඇතුළත් වීම යන්නට අද වන විට කුමක් සිදු වී ඇත්ද? වරුණ රාජපක්ෂගේ වීඩියෝ බැලූ කළ අපට පෙනී යන්නේ JVP, UNP, SJP පොහොට්ටු වැනි පක්ෂවලට කුමක් සිදුවූවත් අවසානයේ ඔහු ඉතිරි වන බව මොකක්දෝ බලවේගයක් විසින් ඔහුට කලින්ම පවසා ඇති ආකාරයයි. ප්‍රභාත් සිරිවර්ධන, චරිත අබේසිංහ වැනි තරුණ දේශපාලකයන් ලෙස පෙනී සිටින අය, ජවිපේ ඇමතිවරුන් බලයට ඒමට පෙර කියූ කතා අපට මතක් කර දෙමින්, මොවුන් බක පණ්ඩිතයන් ලෙස උසුලු විසුළු කරමින් සිටී. මොවුන්ට අමතක වන්නේ ජවිපෙට මෙසේ වූවානම් ඔවුන්ට කුමක් විය හැකිද යන්නයි. කෙසේ වෙතත් මෙවැනි විශ්ලේෂණ මේ යුගයට අදාළ නැත. අපට ලැබී ඇති පණිවිඩය වන්නේ කලින් සිටි අයට කුමක් වුවත් ඔබට දිනිය හැකි බව බවයි. එම නිසා ඔබගේ හැකියාවන්/ දුර්වලතාවයන් කුමක් වුවත් ඒවා පසෙකලා ඔබ දිනුම කරා වේගයෙන් යා යුතුය. කලින් අයට සිදුවූ දේ අදාළ නැත. එයම ඔබට සිදුවී අන්ත ලෙස විහිළුවට ලක්වී ප්ජාත වුවත් එයත් අදාළ නැත. මන්ද යත් ඔබ අවසානයේ යමක් විඳිනු ඇත එහෙනම් මනෝවිශ්ලේෂණයේ එන විනෝදයයි.
මෙවැනි සිදුවීම් සහ පක්ෂ දෙස බැලූ කළ නිරීක්‍ෂණය කළ යුත්තේ කුමක්ද? සාමාන්‍යයෙන් පක්ෂයක නායකයා යනු මාස්ටර් වරයෙකි. මෙම මාස්ටර්වරයා පක්ෂයට වියතිරේකයකි. පක්ෂයකට පක්ෂයක් වීමට වියතිරේකයක්(exeption) අවශ්‍යය. සමාජයට සමාජයක් වීමට ජාතිය, දෙවියන් වැනි මාස්ටර් හැඟුම්කාරක අවශ්‍යය. නමුත් මේ යුගයේ දෙස බැලූ කළ එය එසේ වන්නේද? නලින්ද සිල්වාට ජාතිය(nation) යන්න මාස්ටර් හැඟුම්කාරකයක් වූවාට දිලිත් ජයවීරට එය එසේ නොවේ. 68 ප්‍රංශයේ ශිෂ්‍යයන් විසින් ධනවාදය දුටුවේ පීතෘමූලික, සීමාකාරී, නිදහසක් නොමැති සංගත භාවයක් සහිත පද්ධතියක් ලෙසයි. එයට එරෙහිවීමට ඔවුන් අනුගමනය කරන ලද්දේ අසීමාකාරී නිදහස සහ අසංගත භාවයයි. නමුත් සිදු වූයේ කුමක්ද? අද ධනවාදය වැඩියෙන්ම විකුණන්නේ අසීමාකාරී නිදහසයි. අද වන විට ධනවාදය 68 සිටි හිපියන්ටත් වඩා අසංගතය. නමුත් මෙම අසංගත තත්ත්වය තුළ එයට පැවැත්මක්ද ඇත. යූඑන්පී සහ සජබ පක්ෂ දෙස හොඳින් බැලූ කල අපිට පෙනී යන්නේ ඒවා මාස්ටර්වරයෙකු විසින් පාලනය වන බවක්ද? රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක UNP එකට මාස්ටර්වරයෙක්ද?UNP එක, එක අතකින් ගෝඨාභයට පසු බිඳී ගිය ආර්ථිකය හරි පාරේ රැගෙන ගිය අතරම අනෙක් අතින් සාගල, හරීන් වැනි පිස්සු තත්වයන්ද නඩත්තු කරන ලදී. මෙය අපට ආකාර දෙකකට කියවා ගත හැක. එකක් නම් තමුන්ට වැඩියම බාධා කරන්නේ තමන්ම යන්නයි (මෙම කියවීම දැන් පරණය). අනෙක නම් මේ යුගයේදී පක්ෂයකට සංගත ලෝකය සමඟ (රට ගොඩ ගැනීම, පක්ෂයේ අනාගතය, චරිතයක් ලෙස ඉතිහාසයට යෑම) සම්බන්ධ වෙනවා සේම ඕනෑම වෙලාවක අතාර්කිකභාවය, අසංගතභාවය (විනෝදය) සමඟද සෘජුව සම්බන්ධ වීමට හැකි බවයි.  මෙය ව්‍යුහයක් ලෙස පක්ෂයකට පැවතිය හැකි නව ආකෘතියකි. මෙම ව්‍යුහයට පැවතීමට පරමාදර්ශ, වියතිරේකයන්, මාස්ටර්වරුන්, අවශ්‍ය නොවේ. මේ වන විට පක්ෂවල සංගත භාවය තහවුරු කරන මාස්ටර්වරුන් නොමැත. පක්ෂවල පැවැත්ම තහවුරු කරන්නෙම අසංගත භාවයයි. මෙය සමාජයට මෙන්ම යථාර්ථයට ද අදාළ ය. පිරිමියෙකුට ගැහැණියක මෙන් සෘජුව විනෝදය සමඟ සම්බන්ධ විය නොහැක. ලංකාවේ සමාජය සංගතව ගලා ගියද විටින් විට අසංගත භාවය (සුනාමි, යුද්ධ, පාස්කු, කොරෝනා, ආර්ථික අර්බුද, දිට්වා-ස්වාභාවික නොවන අසංගත භාවයන් ලෙස) සමඟ සෘජුවම සම්බන්ධ වීමටද හැකියි. මෙයින් අපට ඉගෙන ගත හැකි එක දෙයක් නම් දේශපාලනය කිරීමට හදිසි නොවිය යුතුය යන්නයි. දේශපාලනය යනු මීටර් සියය දිවීම නොව මැරතන් ධාවනයකි.

සමබිම පක්ෂය

Search