මෙරට ජීවත් වන පවුල් පනස් දෙලක්‍ෂයෙන් තිස්හත් ලක්‍ෂයක්ම අස්වැසුම ඉල්ලනවා-- ඇමැති උපාලි පන්නිලගේ

මෙරට ජීවත් වන පවුල් පනස් දෙලක්‍ෂයෙන් තිස්හත් ලක්‍ෂයක්ම අස්වැසුම ඉල්ලනවා-- ඇමැති උපාලි පන්නිලගේ

*මෙරට ජීවත් වන පවුල් පනස් දෙලක්‍ෂයෙන් තිස්හත් ලක්‍ෂයක්ම අස්වැසුම ඉල්ලනවා* 

 *දිළිඳු බව වැඩිවෙනවා: නැත්නම් ආධාර මත යැපෙන පිරිස වැඩි වෙනවා – ඇමැති උපාලි පන්නිලගේ* 

මෙරට පවුල්වලින් සියයට 71ක් ජීවත්වීම සඳහා ආධාර ඉල්ලා සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය වෙත අස්වැසුම අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

ඒ අනුව මෙරට දැනට ජීවත්වන පනස් දෙලක්ෂ හැටහතර දහස් දෙසිය අසූදෙකක් වූ පවුල් ප්‍රමාණයෙන් පවුල් තිස්හත් ලක්ෂ හතළිස්හතර දහස් හාරසිය අනූහතරක් අස්වැසුම ඉල්ලා අයදුම් ඉදිරිපත් කර ඇතැයි සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව කීය.

නිදහසින් පසුව මෙරට දිළිඳු බව තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර මේ වන විටත් පවුල් දහඅට ලක්‍ෂ අනූහතර දහස් එකසිය හතළිහක් හෙවත් සියයට 35.9ක් ආධාර මත යැපෙමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය. 2010 වසර වන විට පවුල් ලක්ෂ 10ක් පමණ ජීවනාධාර ඉල්ලා ඇති අතර 2015 වන විට එය ලක්ෂ 15 දක්වා වැඩිවී ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව මෙරට දිළිඳු ජනතාව වැඩි වන බව හෝ නැතිනම් ආධාර මත යැපෙන ප්‍රමාණය වැඩිවෙමින් තිබෙන බව කී ඒ මහතා මෙය රටේ ආර්ථිකයට එල්ල වන බරක් බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ලෝක බැංකු ඇස්තමේන්තු අනුව මෙරට දිළිඳු පවුල් ප්‍රමාණය වන ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් හෙවත් එය සමස්ත පවුල් ප්‍රමාණයෙන් සියයට 24ක් පමණ වන බවත් 2026 වන විට එය සියයට 20ක් දක්වා අඩු කිරීම වත්මන් රජයේ ප්‍රධානම ක්‍රියාවලියක් වන බවත් ඔහු කියා සිටියේය.

ග්‍රාමීය දිළිඳු බව අඩු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

Search