රිය අනතුරු දවසින් දවස වැඩිවෙයි... සෑම පැය 4 කටම වරක් රිය අනතුරු මරණයක්

රිය අනතුරු දවසින් දවස වැඩිවෙයි...  සෑම පැය 4 කටම වරක් රිය අනතුරු මරණයක්

පසුගිය මැයි 11 වැනිදා අලු‍යම රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් එම බස් රථයේ ගමන්ගත් මගීන් 21 ක් සහ බස් රථයේ රියැදුරුට දිවි අහිමි විය.

මෙම වසර තුළ මෙවැනි බස්රථ අනතුරු කිහිපයක්ම වාර්තා වූ අතර, බස්රථ අනතුරු හැරුණු විට වෙනත් මාරක රිය අනතුරු රාශියක් ද වාර්තා විය.

පසුගිය වසර පහ තුළ සිදුව ඇති රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණය කළ විට සෑම පැය 4 කට වරක්ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වේ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී ඉහත කරුණ අනාවරණය වන අතර, එම දත්තවලට අනුව දිනකට රිය අනතුරු 64 ක් පමණ සිදුවේ.
පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ලියාපදිංචි වී තිබෙන්නේ යතුරුපැදිය.

රිය අනතුරු පිළිබඳ දත්ත විමසා බැලීමේදී වසරකට සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන අතර, සිදුවන මරණ සංඛ්‍යාවෙන් ද වැඩි අගයක් ගන්නේ එම අනතුරුවලින් මියගිය යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන්ය.
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ බස් රථයි.

බස් රථ අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයක් වසරකට සිදුවන අතර, ආසන්න වසර 3 තුළ එවැනි බස්රථ අනතුරු 2,000 ඉක්මවා වාර්තා වී තිබේ.

පසුගිය 2024 වසරේ මුල සිට නොවැම්බර් 30 දක්වා කාල පරිච්ඡේදය තුළ බස්රථ සම්බන්ධ අනතුරු 2,029 ක් සිදුවී ඇති අතර, ඒවායින් 222 ක් මාරක රිය අනතුරු විය.

එලෙස 2024 වසරේ නොවැම්බර් 30 දක්වා සිදුව ඇති අනතුරුවලින් 1,510 කට පෞද්ගලික බස්රථ වගකිව යුතු අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 519 ක් ද එම කාල වකවානුවේ සිදුවූ බස් රථ අනතුරුවලට වගකිව යුතු වේ.
2020, 2021 වසරවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ අනතුරට පත් වී ඇති ප්‍රමාණය අඩු අගයක් ගත්තද එය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
පෞද්ගලික බස්රථ අනතුරට පත්වීම සිදුව ඇත්තේ ද ඒ ආකාරයෙනි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන ආකාරයට බස්රථ සම්බන්ධ වැරදි හේතුවෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව ද ආසන්න වසරවල ඉහළ ගොස් තිබේ.
ඒවායින් බහුතරයක් නඩු කටයුතුවලට හේතු වී ඇති වැරැද්ද වන්නේ මාර්ග නීති උල්ලංඝණයයි.

අපරීක්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය ද බස් රථවලට නඩු පවරා ඇති තවත් ප්‍රධාන වැරදිය.

මෙම වසරේදී බස් රථවල අලංකරණය සඳහා සවිකර ඇති විවිධ කොටස් ගැලවීමේ මෙහෙයුමක් ද ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කළ අතර, බොහෝ බස් රථවල සුදු යකඩ කොටස් ගැලවීමට, ස්ටිකර් ගැලවීමට පොලීසිය ක්‍රියා කළේය.
එමෙන්ම අධික වේගයෙන් ගමන් ගන්නා වාහන හඳුනා ගැනීමට නව උපකරණයක් ද මෑතකදී ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතයට ගැනීම ආරම්භ කෙරිණි.

කෙසේ වෙතත් ආසන්න දින කිහිපය තුළ පමණක් බස්රථ අනතුරට පත්වීම් 3 ක් වාර්තා විය.

රම්බොඩ බස්රථ අනතුරට පෙර දින රාත්‍රියේද බස් රථයක් අනතුරට පත්ව තිබූ අතර, එනම් මැයි 13 වැනි දින ද බස් රථයක් අනතුරට පත් වී පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

• BBC

Search